Saturday, April 6, 2013

අනුමත නොකළ බලාගාර 4කින් ලංවිම විදුලිය අරන්..

කොමිස් ගනුදෙනු හේතුවෙන් මහජන උපයෝගිතා කොමිසම විසින් අනුමත නොකරන ලද ආයතන දෙකකට අයත් බලාගාර හතරකින් ලංකා විදුලිබල මණ්ඩලය විදුලිය මිලදී ගන්නා බව අනාවරණය වී ඇත.

මෙසේ සිදුකරන විදුලිය මිලදී ගැනීම්වලින් ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් කෝටි 1,300ක අලාභයක් සිදුවන බව ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ ලේකම් රන්ජන් ජයලාල් මහතා පැවැසීය.

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලිය මිලදී ගැනීම් මහජන උපයෝගිතා කොමිසමේ අනුමතයෙන් තොරව සිදුකිරීම නීති විරෝධී ක්‍රියාවකි. ලංවිමේ මේ ක්‍රියාව සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම විමසන අවස්ථාවකදී ලංවිම නිලධාරීන් පවසා ඇත්තේ ප්‍රමාණවත් ජල විදුලිය නොමැති බවයි.

එහෙත් ඔවුන් මෙසේ පවසා ඇත්තේ ප්‍රමාණවත් ජල විදුලිය අවශ්‍ය ප්‍රමාණයට වඩා තුන් ගුණයක් තිබියදී බව රන්ජන් ජයලාල් මහතා සඳහන් කරයි.
ඒ. එස්. පවර් හොරණ, මාතර, ඇඹිලිපිටිය හා ලක්දනව් බලාගාර මෙසේ ලංවිම විදුලිය මිලදී ගැනීම් කරන බලාගාර වේ.

මේ විදුලිය මිලදී ගැනීම සම්බන්ධයෙන් පසුගියදා (4දා) මහජන උපයෝගිතා කොමිසම විසින් පවත්වන ලද විදුලි ගාස්තු සංශෝධන වාචික අදහස් විමසීමේදී ද හෙළි විය.

බලශක්ති සංසදයේ නියෝජිතයකු එහිදී පැවැසූයේ ලංකා විදුලිබල මණ්ඩලය පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය උත්පාදනය අතැර දමා මෙවන් වංචාවන් කෙරෙහි උනන්දු වී ඇති බවය.

No comments:

Post a Comment