Thursday, April 4, 2013

යුද්ධයෙන් පසු ශ‍්‍රී ලංකාවේ "කැපී පෙනෙන වෙනසක්"-පාකිස්තානු විදේශ ලේකම්වරයා ජනපතිට පවසයි

යුද්ධය පැවැති සමයේ 2005 වර්ෂයේ දී තමා පැමිණි කාලයේ පැවැති තත්ත්වයට වඩා "කැපී පෙනෙන වෙනසක්" ශ‍්‍රී ලංකාවේ සිදුව ඇතැයි අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සමඟ පැවති සුහද හමුවේදී පාකිස්ථානයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ජිලාල් අබ්බාස් ජිලානි (Jilal Abbas Jilani) මහතා ප‍්‍රකාශ කළේය.
"මෙහි එන කෙනෙකුට සාමය හා ශාන්තභාවය පිළිබඳ හැඟීමක් ඇති වන්නේ" යැයි පැවසූ ජිලානි මහතා මේ වෙනසට යුද්ධය අවසන් වීම පමණක් නොව සංවර්ධනය ද හේතු වී ඇතැයි සඳහන් කළේය.
"ඔබ රජය ත‍්‍රස්තවාදය තුරන් කළ ආකාරය අපි අතිශයින් අගය කරන අතර, ඒ පිළිබඳ අපේ ප‍්‍රසාදය පළ කරමු" යැයි ඒ මහතා තවදුරටත් පැවැසීය.
යුද සමයේ දී මෙන්ම ඉන් පසුව ද ශ‍්‍රී ලංකාවට දුන් අඛණ්ඩ සහයෝගය ගැන පාකිස්තානයට ස්තුතිය පළ කළ ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා, තීරණාත්මක අවස්ථාවල දී ශ‍්‍රී ලංකාවට සහය වීමෙහිලා පාකිස්තානය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකර ඇතැයි පැවැසීය.
පාකිස්තාන ජනාධිපති අසිෆ් අලි සර්දාරි (Asif Ali Zardari) මැතිතුමාගේ "ප‍්‍රණාමය හා සුභාෂිංසන" පුද කළ ජිලානි මහතා "පාකිස්තානයේ අපි සහ ශ‍්‍රී ලංකාව අතර මිත‍්‍රත්වය අතිශයින් අගය කරමු" යැයි කීය.
පාකිස්තානයේ ඉදිරි මහ මැතිවරණය පිළිබඳව සඳහන් කරමින් දේශපාලනයෙහි කාන්තා සහභාගීත්වය වර්ධනය කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා සහ ජිලානි මහතා අවධාරණය කළහ.
2011 වර්ෂයේ දී පාකිස්තානය මුහුණ දුන් ඩෙංගු උවදුර මර්ධනයට ලැබුණු සහයෝගය ඇතුළුව ශ‍්‍රී ලංකාව පාකිස්තානයට කර ඇති උදව් උපකාර පිළිබඳව ජිලානි මහතා ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා වෙත ස්තුතිය පුද කළේය. පාකිස්තානයේ ඉල්ලීම පරිදි ඩෙංගු මර්ධන කණ්ඩායමක් ශ‍්‍රී ලංකාවෙන් එරටට යවන ලද අතර, පාකිස්තානයේ වෛද්‍ය කාර්යමණ්ඩල අවශ්‍යතා තක්සේරු කොට ඔවුන් පුහුණු කිරීමට කණ්ඩායමට හැකි විය.
පාකිස්තානයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දකුණු ආසියා අංශයේ අධ්‍යක්‍ෂ ජනරාල් රිෆාට් මසූද්(Riffat Masood), ශ‍්‍රී ලංකා පකිස්තානු මහකොමසාරිස් (විශ‍්‍රාමික මේජර් ජනරාල්) කසීම් කුරේෂි (Qasim Qureshi), හා ශ‍්‍රී ලංකාවේ නියෝජ්‍ය දූත මණ්ඩල ප‍්‍රධානී අම්නා බාලොච් (Amna Baloch) යන මහත්වරුන් සහභාගී වූ අතර, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

දකුණු - දකුණු සහයෝගිතාව ශක්තිමත් කර ගැනීමේ අභිප‍්‍රායෙන් බර්කිනා ෆාසෝ විදේශ අමාත්‍යවරයා ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා හමුවෙයි


බර්කිනා ෆාසෝහි (Burkina Faso) විදේශ කටයුතු හා කලාපීය සහයෝගීතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය යිපෙනෙ ජිබි‍්‍රල් බස්සෝලෝ (Yipene Djibrill Bassole) මැතිතුමා අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා හමුවිය.
ජාත්‍යන්තර වේදිකාවල දී ශ‍්‍රී ලංකාවට නිරතුරුවම සහයෝගය දීම සම්බන්ධයෙන් බර්කිනා ෆාසෝ රජයට ස්තුතිය පළකළ ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා, අප‍්‍රිකානු රටවල් සමඟ පුළුල් හා ශක්තිමත් ද්විපාර්ශවික සබඳතා පවත්වා ගැනීමට ශ‍්‍රී ලංකාවේ විදේශ ප‍්‍රතිපත්තිය ප‍්‍රමුඛත්වයක් දී ඇති බව පැවසීය.
බර්කිනා ෆාසෝ ජනාධිපති බ්ලයිසේ කොම්පාඕරේ (Blaise Compaore) මැතිතුමාගේ සුබපැතුම් දැනුම්දුන් බස්සෝලෝ මහතා සංවර්ධනය, ස්ථාවරත්වය හා සමගි සන්ධානය ඇති කිරීම සඳහා දරන උත්සාහය සම්බන්ධයෙන් ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමාට ප‍්‍රශංසා කළේය.
දකුණු - දකුණු සහයෝගීතාව ශක්තිමත් කිරීම තම ශ‍්‍රී ලංකා චාරිකාවේ එක් අරමුණක් බව බස්සෝලෝ මහතා පැවසීය.
බර්කිනා ෆාසෝ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටක් වන අතර, "අපි එකමුතු විය යුතුය" යැයි ඒ මහතා පැවසීය.
මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයෙකු වන බර්කිනා ෆාසෝ මෑතක දී ශ‍්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලයට ගෙන ආ යෝජනාවේ දී ඡන්දය දීමෙන් වැළකී ඇති රටවල් අටෙන් එකකි. ශ‍්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව සොයාබලා තම ජනාධිපතිවරයාට හා ජනතාවට දැනුම් දීමේ කාර්යභාරය තමන්ට පැවරී ඇතැයි බස්සෝලෝ මහතා පැවසීය.
තරුණ සංවර්ධනය ඇතුළු අංශ ගණනාවක දෙරට අතර සහයෝගීතාව වැඩි දියුණු කර ගැනීමට බර්කිනා ෆාසෝ රජය උනන්දු වන අතර, ශ‍්‍රී ලංකාව ලබා ඇති සාර්ථක ප‍්‍රතිඵල තුළින් පාඩම් ඉගෙන ගැනීමට අපේක්‍ෂාවෙන් සිටින බව බස්සෝලෝ මහතා පැවසීය.
ශ‍්‍රී ලංකාවේ බර්කිනා ෆාසෝ තානාපති ඉඩ්රිස් රඕවා ඔවේඩ‍්‍රාගෝ (Idriss Raoua Ouedraogo) මහතා කැබිනට් අමාත්‍ය මණ්ඩලයේ අධ්‍යක්‍ෂ සහ බර්කිනා ෆැසෝහි ද්විපාර්ශ්වික සම්බන්ධතා පිළිබඳ අධ්‍යක්‍ෂ ජනරාල් විදේශ කටයුතු හා කලාපීය සහයෝගීතා පිළිබඳ අමාත්‍ය අමඩෝ ඩිකෝ (Amadou Dicko) සහ ඥාමා හෙන්රි බසයි (Gnama Henri Bacye) යන මහත්වරු බර්කිනා ෆැසෝ නියෝජිත පිරිසට අයත් වූහ.
විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අයි. අන්සාර් යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්වූහ.

උත්සව සමයේ භාණ්ඩ මිල ස්ථාවරව තබා ගැනීමට සතොසින් සහන බඩු මල්ලක්


ලංකා සතොස මඟින් හඳුන්වාදී ඇති ප්‍රථම සහන බඩු මල්ල (බජට් පැක්) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් අද (04) පෙරවරුවේ පිළිගන්වන ලදී.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව උත්සව සමයේදී අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ස්ථාවරව පවත්වාගෙන යමින් පාරිභෝගිකයින්ට උපරිම සහන සැලසීමේ අරමුණින් ලංකා සතොස මඟින් මෙම සහන බඩු මල්ල හඳුන්වා දී තිබේ.
මෙම අවස්ථාවට අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ලංකා සතොස ආයතනයේ සභාපතිවරයාද එක්ව සිටියහ.

රාවණා බලය ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය වටලති.

මවුබිම පාවාදී ඉන්දීය ප‍්‍රිමියර් ලීග් තරඟායලියට සහභාගී වී සිටින ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩකයින්ට විරෝධය පල කිරීම සඳහා ඊයේ රාවණා බලය සංවිධානය ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ඉදිරිපිට විරෝධතාවයක් දියත් කලේය.
එහිදී පිරිස ඇමතූ සංවිධානයේ මහ ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පැවසුවේ තරගාවලියට එක්ව සිටින ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩකයින්ට මව්බිම අමතක වි ඇති බවත් ඔවුන්ගේ ජිවිත පාඨය මුදල් වී ඇති බවත්ය.
මෙම පාවාදීමේ විපාකයන්ගෙන් එම තරගාවලියට එක්ව සිටින කිසිඳු ශ‍්‍රි ලාංකික ක‍්‍රීඩකයෙකුට ගැලවි යා නොහැකි බව ද පැවසූ උන්වහන්සේ ක‍්‍රීඩකයින් පමණක් නොව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ද මුදලට යටවී සිටින බවද කියා සිටියහ.

මාලිංගට තුවාලයි අයි.පී.එල්. පලමු තරගය අහිමියි..

මාලිංගගේ සිරුරේ පසුපස පෙදෙසේ ආබාධ තත්වයක් මතුව ඇති නිසා වෛද්‍ය උපදෙස් මත තවමත් ලංකාවේ විවේක ගන්නා ඇති අතර 5 වනදා හෙට ඉන්දියාවට යාමෙන් පසු තත්වය හොඳ නම් ඉදිරි තරග වලට ක්‍රීඩා කරන්නට බලාපොරොත්තු වන බවද වාර්තා වනවා.

රෝයල් චැලේන්ජර්ස් බැංග්ලොර් කණ්ඩායම සමග අද පැවැත්වෙන තරගයට ක්‍රිඩා කිරීමේ අවස්ථාව වේගපන්දු යවන කී්‍රඩක ලසිත් මාලිංගට අහිමි වී තිඛෙනවා. ඒ ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන්. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරන ලසිත් මාලිංග අයි.පී.එල් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුළු ලාභියායි. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක රිකී පොන්ටින් සඳහන් කළේ මාලිංගගේ පුරප්පාඩුව සඳහා මිචෙල් ජොන්සන් හෝ මුනාෆ් පටෙල් යන ක්‍රිඩකයින්ගෙන් අයෙකු අද තරගයේදී ක්‍රිඩා කරන බවයි.

ඉන්දියාව තමිල්නාඩුව විතරක් නොවේ -සංගක්කාර කියලා..

ඉන්දියාව යනු චෙන්නායි හෝ තමිල්නාඩුව නොවන බවත් දේශපාලනය නිසා ක්‍රීඩාවට හානියක්, බාධාවක් සිදු නොවිය යුතු බවත් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර අයිපීඑල් තරගාවලියේ සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කරන අතරතුර ඉන්දීය මාධ්‍ය හමුවේ අදහස් දක්වා ඇත.
තමන් අයිපීඑල් සඳහා පැමිණියේ ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට බවත් මේ ඇතිව තිඛෙන ප්‍රශ්නය රාජ්‍යයක් හා තවත් රාජ්‍යයක් අතර ප්‍රශ්නයක් නොවන බවත් හෙතෙම ප්‍රකාශ කර ඇත.
චෙන්නායිවල ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද අවසර දී නැති බව ප්‍රකාශ කළ සංගක්කාර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට පනවා ඇති තහනම පිළිබඳ සමස්ත තමිල්නාඩුවම අනුමත කරන්නේද යන්නත් සොයාබැලිය යුතු බව ප්‍රකාශ කළේය...

වැඩිදුරටත් අදහස් දැක්වූ සංගක්කාර

ක්‍රිකට් ක්‍රීඩාවේ තිබෙන එකමුතුබව මෙවන් සිදුවීම් වලින් නවතන්න බැහැ. ක්‍රිකට් පාලක මණ්ඩලය පැහැදිලිවම කිව්වා කිසිම ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු චෙන්නායි හි ක්‍රීඩා නොකරන බවට. ඉන්දියාව කියන්නේ චෙන්නායි , තමිල්නාඩුවට වඩා දෙයක් කියලයි මම හිතන්නේ.
තමිල්නාඩුව හැර සමස්ත ඉන්දියාවම අපව පිළිගත්තා. මේක රටවල් දෙකක් අතර ඇතිවුන් ප්‍රශනයක් නෙවෙයි. එක් ප්‍රාන්තයක් පමණයි ගැටලුව වුයේ. මෙය රටවල් දෙකක් අතර ගැටුමක් වුයේ නම් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් සහභාගි නොවීමට ඉඩ තිබුනා.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ''මචං ඥානසාර'' කියලා...paparasiya


ජනප්‍රිය පුවත් සඟරාවක් වන 'පැපරාසියා' හි කර්තෘ සේපාල් අමරසිංහ මහතාට අද (04) පෙරවරු 8.30 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තු මේන්තුවේ 4 වන තට්ටුවට කැදවා ඇතැයි පොලිසිය විසින් දැනුම් දී තිබෙනවා...
අමරසිංහ මහතා මේ සම්බන්ධයෙන් කල විමසීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරියකු පවසා ඇත්තේ, පසුගිය 'පැපරාසියා' සඟරා කලාපයක බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ''මචං ඥානසාර'' යන ශීර්ෂය යටතේ පලකල ලිපියක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය වී ඇති බවයි...
එය අපරාධයක් වන්නේ කෙසේදැයි අමරසිංහ මහතා කල විමසීමේදී අදාල නිලධාරියා එයට පිළිතුරු නොදුන් බව අමරසිංහ මහතා පැවසුවා.
මේ සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයේ විධායක කමිටු සාමාජික දිලන්ත විතානගේ මහතාගෙන් කල විමසීමේදී ඔහු කියා සිටියේ, පැපරාසි සඟරාවේ පලවී ඇති අදාළ වාර්තාව සම්බන්ධයෙන් තම සංවිධානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලක් කල බවයි.

නයි නළඟනට එරෙහිව වරෙන්තුවක්...

කොල්ලුපිටිය ක්ලියෝ පැට්රා සමාජ ශාලාවේ නළඟනක වූ දන්තුරේ නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානිට අද කොටුව අධිකරණය තුල පෙනී ලෙසට තිබියදීත් නයි නළඟන අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඇයට විරුද්ධව අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් කර ඇත.
තම නාගයා නැවතත් තමන්ට භාර දුන්නද එම නඩුව තවමත් විභහග වන හෙයින් ඇයට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝගයක් ලබා දී ඇත.
කොල්ලුපිටිය ක්ලියෝ පැට්රා රාත්‍රි සමාජ ශාලාව තුළ නළඟනක ලෙස කටයුතු කරන නිරෝෂා විමලරත්න මෙනෙවිය ඉකුත් අගෝස්තු මස 28 වැනි දින නාගයකු හා සිටියදී කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
ඉන් අනතුරුව නයි නළඟන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර සිටි අතර, නාගයා දෙහිවල සතුන් වත්ත වෙත යොමු කෙරිණි.එදින සිට පුරා මාස 3 1/2 කට අධික කාලයක් නාගයා දෙහිවල සතුන් වත්තේ රඳවා තැබිණි.පසුව අධිකරණ නියෝගය මත නාගයා ඇයට භාර දී ඇත.
ඉන් අනතුරුව නයි නළඟන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර සිටි අතර, නාගයා දෙහිවල සතුන් වත්ත වෙත යොමු කෙරිණි.එදින සිට පුරා මාස 3 1/2 කට අධික කාලයක් නාගයා දෙහිවල සතුන් වත්තේ රඳවා තැබිණි.පසුව අධිකරණ නියෝගය මත නාගයා ඇයට භාර දී ඇත.