Friday, April 5, 2013

අංජන බස්නාහිර පළාත් සභාවට රතු එළියක් දල්වයි


කිසිදු දැනුම්දීමකින් තොරව වැඩි කර ඇති පෞද්ගලික බස් රථ සේවා ගාස්තු ලබන 08වැනිදාට පෙර ඉවත් නොකළහොත් බස්නාහිර පළාත් සභාව ඉදිරිපිට මාරාන්තික උපවාසයක් අරඹන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජීත් මහතා අවධාරණය කරයි.
බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථවල ලොග් බලපත්‍රය රුපියල් 750 සිට 1000 දක්වාත්, මාර්ග බලපත්‍ර ගාස්තුව රුපියල් 3500 සිට 5000 දක්වාත්, මාර්ග සංශෝධිත බලපත්‍ර ගාස්තුව 70,000 සිට 100,000 දක්වාත් මේ මස 01 වැනිදා සිට කිසිදු දැනුම්දීමකින් තොරව වැඩි කර ඇති බව ඔහු පවසයි.
එසේම පෞද්ගලික ප්‍රවාහන අමාත්‍යවරයා මේ මස 20 වැනිදා වන විට සියයට 7ක බස් ගාස්තු වැඩිවීමක් ලබාදෙන බවට පොරොන්දු වී ඇති බවත් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සියයට 10ක ගාස්තු වැඩිවීමක් ඉල්ලා සිටින්නේ ඉහත බස් රථ සේවා ගාස්තු වැඩිවීම දැනගෙනදැයි සැකයක් මතුවන බවද හෙතෙම කියයි.
කොළඹදී අද (05) පැවැති මාධ්‍ය හමුවකදී අංජන ප්‍රියංජීත් මහතා මේ බව පැවසීය.
ඉහත සේවා ගාස්තු ඉවත් නොකළහොත් සියයට 10ක ගාස්තු වැඩිවීමක් අවශ්‍ය බවද එසේ නොවන්නේ නම් 8 වැනිදා මාරාන්තික උපවාසයකට එළඹෙන බවද එහිදී ඔහු වැඩිදුරටත් කීවේය.

කපා කොටා ඝාතනය කළ මළ සිරුරක් හමුවෙයි


කෑගල්ල, හබුඩුගල අංක දෙක ජනපදයේ නිවසක කපා කොටා ඝාතනය කර තිබූ පිරිමි මළ සිරුරක් සොයා ගෙන තිබේ.
සිය නිවස තුළදී ඝාතනයට ලක්ව ඇත්තේ 33 හැවිරිදි දෙදරු පියෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ බිරිඳගේ සහෝදරයා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් නිල සුනඛයන් යොදා සිදුකළ විමර්ශනයක දී බිරිදගේ මුල් නිවසේ තිබී ලේ බිංදු කිහිපයක් සොයා ගෙන ඇති අතර කෑගල්ල මහේස්ත්‍රාත්වරයා එම ස්ථානයට පැමිණ විමර්ශන සිදුකළ බව පොලීසිය පැවසුවේය.

ලොරි 2 ක් එකට ගැටෙයි - 5 ට තුවාල

අම්පාර, දමන, වරිපච්චේන ප්‍රදේශයේ දී ලොරි රථ දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් පස්දෙනෙකු තුවාල ලබා තිබේ.
අද (05) අලුයම මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇත්තේ සහල් ප්‍රවාහනය කළ ලොරියක් සහ නීති විරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කළ ලොරියක් බව පොලීසිය පැවසීය.
අනතුරෙන් තුවාල ලැබූවන් අම්පාර සහ එරගම රෝහල් වෙත ඇතුළත් කර තිබේ.
ලොරි රථයේ ගවයින් දස දෙනෙක් පමණ සිට ඇති අතර එම ගවයින්ගෙන් දෙදෙනෙකු ද තුවාල ලබා ඇති බව දමන පොලීසිය සඳහන් කළේය.

රුපියල වැඩිවේ.........


වසරකට පමණ පසු මෙරට රුපියලේ අගය ඉහළ ගොස් තිබේ.
පසුගිය වසරේ අප්‍රේල් මාසයෙන් පසු අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ ගිය පළමු අවස්ථාව මෙය වේ.
ඊයේ (04) දිනය වන විට රුපියලේ අගය 1.6% න් වර්ධනය වී තිබේ.
අලුත් අවුරුදු උත්සවය හේතුවෙන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට මුදල් යොමුකිරීම සහ අපනයන ආදායම් රුපියල් අගයන්ට පරිවර්තනය කිරීම යන හේතු මත මෙම වර්ධනය සිදුව ඇති බව මූල්‍ය විශේෂඥයින් පෙන්වාදෙයි.
පසුගිය වසරේ දී රුපියල 10.7% න් පමණ අවප්‍රමාණය වී තිබිණි.
අද දිනයේ අමෙරිකානු ඩොලරයක් සඳහා වන රුපියලේ සාමාන්‍ය අගය 125.9784 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.

නොදන්නවා වුණත් අත් දුටු බෙහෙතක්..


ලිංගික ආශාව මානව සංහතියේ ප්‍රගමනය තීරණාත්මක කරන ප්‍රමුඛතම සාධකය බැව් නොකිව මනාය. එය පවුල් සංස්ථාව ගොඩනඟනවා සේම ජීවිතය නිරන්තරයෙන් නැවුම්ව තබයි. ලිංගික සබඳතාවකට රෝග නිවාරණය කිරීමේ හැකියාවක් ඇති බව කිවහොත් එය එකහෙළාම පිළිගැනීමට බොහෝ දෙනකු මැලිවීම ස්වභාවිකය. එහෙත් එය සත්‍යයකි. ඉකුත් සතියේ ජර්මනියේ මින්ස්ටර් සරසවිය විසින් සිදුකරන ලද සමීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇත. ඉරුවාරදය රෝගයෙන් හිසේ ඇම්මෙන් පීඩා විඳින්නන් එසේ පීඩාවට පත්ව සිටින අතරතුර ලිංගික සබඳතාවක් පවත්වන්නේනම් වේදනාව හරි අඩක් පමණ අඩුවන බවත්, එයින් 20% ක පමණ පිරිසකගේ වේදනාව මුළුමනින්ම තුරන්වන බවත් එකී සමීක්ෂණයෙන් හෙළිවී තිබේ.

මිනිස් සිරුරේ ක්‍රියාකාරිත්වය විටෙක අසිරිමත්ය. ශරීරයේ අභ්‍යන්තරික ක්‍රියාවලිය මනාව පවත්වාගෙන යන ස්වයං සාධක ස්නායු පද්ධතියට අදාළව එන්ඩොර්පින්ස් නමැති හෝමෝනය මොළයෙන් රසායනයක් ලෙස නිපදවෙයි. එය ඉතාමත් හදිසි බියවීම්,කම්පනයන් වැනි අවස්ථාවන්හිදී නිපදවෙනවාසේම කෙනකු සතුටින් සිටින අවස්ථාවන්වලදීද නිපදවෙන බව වෛද්‍ය විද්‍යාත්මක මතයයි. ඒ අනුව කෙනකු ලිංගික සංසර්ගයේ යෙදෙන විට එන්ඩොර්පින්ස් නමැති හෝමෝනය මොළයෙන් ස්වයං සිද්ධව නිපදවන බවත්, එය වේදනා නාශකයක් ලෙස ක්‍රියා කරන බවත් නවතම සමීක්ෂයෙන් තහවුරු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා උපුටා දක්වයි. වෛද්‍යවරුන් පෙන්වාදෙන අන්දමට සැබවින්ම එය සියයට සියයක ස්වභාවික වේදනා නාශකයක් ලෙස හැඳින්වීම වඩා නිවරදිය.

" ඉරුවාරදයෙන් පීඩා විඳින අතර ලිංගික ක්‍රියාකාරකම්වල යෙදීමේදී වේදනාවට සහනයක් අත්පත් කර ගැනීමට හෝ වේදනාව සහමුලින් තුරන්කර දැමීමට හැකි බව මෙමගින් ඔප්පුවෙනවා. සමහර රෝගීන්ගේ හිසේ රුදාවට ප්‍රතිකර්මයක් ලෙස ලිංගික ක්‍රියා යොදාගන්නට පුළුවන්"
සමීක්ෂකයින් උපුටා දක්වයි.
දෙවසරකට අධික කාලයක් තිස්සේ ඉරුවාරදයෙන් හෝ දැඩි හිසේ රුදාවෙන් පීඩා විඳින රෝගීන් හාර සියයකගෙන් ලබාගත් තොරතුරු ඔස්සේ මෙම සමීක්ෂණ වාර්තාව ‍ගොඩනැඟුණු බව සඳහන්ය.
සමීක්ෂණයට ලක්වුණු රෝගීන් 400 ක් දෙනා අතුරින් 33% ක් හිසේ රුදාව අතරතුර ලිංගික ක්‍රියාකාරම්වලට යොමුවී ඇති බවත්, 60% ක් ඉරුවාදයෙන් පීඩා විඳිමින් සිටින අය බවත් එයින් 36% ක ප්‍රතිශතයක් සම්පූර්ණයෙන්ම රෝග ලක්ෂණ හා වේදනාව තුරන්කරගෙන ඇති බවත් මෙම සමීක්ෂණ වාර්තාවේ දැක්වෙයි.

සමහර පිරිමින් 36% ක් ස්ත්‍රීන් 16% ක් හිසේ රුදාව රෝග ලක්ෂණයක් ලෙස තිබියදී ලිංගික ක්‍රියාකාරකම්වල නිරතවී ඇත්තේ මෙම අධ්‍යයනය සඳහාමය. ඔවුන්ගෙන් 19% ක ප්‍රතිශතයක් සම්පූර්ණයෙන්ම රෝගී තත්ත්වය තුරන්කර ගෙන ඇති අතර 51% ක ප්‍රතිශතයක් තම වේදනාව යටපත් කර ගැනීමට සමත්වී ඇත.

කෙසේ වෙතත් අවසාන වශයෙන් සමීක්ෂකයින් තහවුරු කරන අන්දමට ඉරුවාරදයෙන් පෙළුණු සියලුම රෝගීන්ගෙන් 42.7 ක ප්‍රතිශතයකින් යුතු පිරිසක් අවම වශයෙන් 50% ක සහනදායි තත්ත්වයක් උදාකරගෙන ඇති බවත්,මෙම සමීක්ෂණ වාර්තාව තියුණු ප්‍රතිකාර සඳහා සුබවාදී ප්‍රතිචාරයක් බවත් කිවහැකිය.
කෙසේ වෙතත් මෙම නවතම සමීක්ෂණ වාර්තාව "ජාත්‍යන්තර හිසේරුදාව පිළිබඳ කමිටුව" මගින් වෛද්‍ය විද්‍යාත්මකව ලෝකයේ අවධානය දිනාගත් Cephalalgia ජර්නලයේ පළකර තිබේ.
ආදරයට ලිංගිකත්වයට ජීවිතයට තවත් බොහෝ දේ එකතු කළ හැකි බව නම් මෙයින් ප්‍රත්‍යක්ෂ වන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

යාංගල්මෝදර අනතුරේ රියදුරුට හා කොන්දොස්තරට මරණ දඬුවම..


පුද්ගලයින් හතළිස් දෙදෙනෙකුට මරු කැඳවු අලව්ව යාංගල්මෝදර දුම්රිය හරස් මාර්ගයේ දී සිදුවු අනතුරට අදාළ බස් රථයේ රියදුරුට සහ කොන්දොස්තරවරයාට මරණ දඩුවම නියම කර තිබේ.
කුරුණෑගල, මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් අද (05) මෙම නියෝගය ලබාදුන් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.
2005 වර්ෂයේ අප්‍රියෙල් 25 වනදා අලව්ව යාංගල්මෝදර දුම්රිය හරස් මාර්ගයේ දී බස් රථයක් නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියක ගැටීමෙන් අදාළ අනතුර සිදුව ඇත.
එහිදී තවත් පුද්ගලයින් 35 දෙනෙකු බරපතළ තුවාල ලැබීය.
මෙම බිහිසුණු අනතුර සම්බන්ධයෙන් එම බස් රථයේ රියදුරුට සහ කොන්දොස්තරවරයාට එරෙහිව චෝදනා 152 ක් ගොනු කරමින් නීතිපතිවරයා විසින් නඩුව ගොනු කර තිබිණි.
මේ සම්බන්ධයෙන් කුරුණෑගල මහාධිකරණය හමුවේ පැවති නඩුව අද විභාගයට ගත් අවස්ථාවේ අනාරක්ෂිත ලෙස බස් රථයක් ධාවනය කිරීම හේතුවෙන් අදාළ අනතුර සිදුව ඇති බව තීන්දු කළ මහාධිකරණ විනිසුරුවරයා බස් රථයේ රියදුරුට සහ කොන්දොස්තරවරයාට මරණ දඬුවම නියම කළේය.

වෑන් රියක් පැහැරගත් දෙදෙනෙක්ට වැඩ වරදී......

වෑන් රථයක් පැහැරගත් පුද්ගලයන් දෙදෙනෙකු රුවන්වැල්ල, කරවනැල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්යය බලකා මූලස්ථාන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමකට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයක දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.  
ඔවුන් විසින් පැහැරගන්නා ලද වෑන් රථය විශේෂ කාර්යය බලකාය භාරයට ගෙන තිබේ.
සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා රුවන්වැල්ල පොලිස් ස්ථානයට භාරදුන් බව විශේෂ කාර්යය බලකාය සඳහන් කළේය.

බලපිටියේ මාරක රිය අනතුරින් 4ක් රෝහලේ

බලපිටිය ජම්බුගස්මුල්ල ප්‍රදේශයේදී අද (15) සවස යතුරු පැදියක් හා ලොරියක් මුහුණට මුහුණ ගැටී සිදුවු අනතුරින් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. 

අද සවස 4.00ට පමණ එම අනතුර සිදුව ඇති අතර අනතුරින් තුවාල ලබා ඇත්තේ යතුරු පැදියේ ගමන් ගත් දෙදෙනෙකු හා ලොරියේ සිටි රියදුරා හා සහා‍යකයෙකු බව අද දෙරණ වාර්තාකරු පවසයි.
තුවාල ලැබූවන්ගෙන් බරපතළ තත්ත්වයේ සිටින අය කරාපිටිය රෝහලට මාරු කර යැවීමට මේවන විට කටයුතු සිදුවෙමින් පවතින බවද හෙතෙම කියයි.

මෙවර සාමාන්‍ය පෙළ ඉහලම ප්‍රතිපල...

2012 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනූව දිවයිනේ පළමු ස්ථානය හිමිකර ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලයේ දසුන් ජයසිංහ හා ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ මධුෂානි චතුරිකා කුලතුංග යන සිසුන් දෙදෙනා සමත්ව තිබේ.
තෙවැනි ස්ථානය - ආයෝධ්‍යා ගයත්‍රීද අල්විස්, සංඝමිත්තා විද්‍යාලය - ගාල්ල. 

සිව්වැනි ස්ථානය - එම් රණවක, විශාකා විද්‍යාලය - කොළඹ. 

පස්වැනි ස්ථානය - සහන් ලක්ෂිත විජෙවන්ත, ඇලෝසියස් - රත්නපුර. 

හයවැනි ස්ථානය - තෙපුලි උමේෂා, රත්නාවලි බාළිකා - ගම්පහ.

(හත්වැනි ස්ථාන සඳහා ද තිදෙනෙකු තේරීපත්ව ඇත).
හත්වැනි ස්ථානය - සඳුනි ඉරංගා විතානගේ, දේවි බාළිකා - කොළඹ.
හත්වැනි ස්ථානය - දුල්මිණි රත්නායක රත්නාවලි බාළිකා - ගම්පහ.
හත්වැනි ස්ථානය - ලහිරු රන්දුල කුලරත්න, ත්‍රිත්ව විද්‍යාලය - මහනුවර.

(දහවැනි ස්ථානය සඳහා ද දෙදෙනෙක් තේරීපත්ව ඇත).
දහවැනි ස්ථානය - මෙ‍ලොනි නිමාෂා ද අල්මේදා, විශාකා විද්‍යාලය - කොළඹ
දහවැනි ස්ථානය - පිපුණි තරුෂිකා, සුජාතා විද්‍යාලය - මාතර

ප්‍රා.සභා උප සභාපතිට ගීතා කුමාරසිංහ කෝපි කෝප්පයෙන් ගහලා..

බෙන්තර-ඇල්පිටිය ආසන සංවිධායිකා ගීතා කුමාරසිංහ මහත්මිය ඊයේ (04 දා) බෙන්තොට ප්‍රාදේශීය සභාවේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී ,බෙන්තොට ප්‍රාදේශීය සභාවේ උප සභාපති (එ.ජ.නි.ස.) රංජිත් වික්‍රමසිංහ මහතාට කෝපි කෝප්පයකින් පහරදී ඇත.
බෙන්තොට ප්‍රාදේශීය සභා ගොඩනැඟිල්ලේ පැවැති මෙම රැස්වීමේදී දෙදෙනා අතර බහින් බස්වීමක් ඇති විය.

ගීතා කුමාරසිංහ මහත්මිය මීට පෙර දිනක ආණ්ඩු පක්ෂයට සාමාජිකයන් බඳවා ගැනීමේ අවස්ථාවට සහභාගිවන ලෙස බෙන්තොට ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන්ට ලිඛිතව දන්වා ඇත.
ආයතන සංග්‍රහයට එරෙහිව කළ මේ ක්‍රියාවට විරුද්ධවීම නිසා ඇතිවූ බහින්බස් වීමේදී ඇය උපසභාපතිවරයාව මෙසේ කෝපි වලින් නහවා තිබේ. එම සිද්ධියෙන් පසු රැස්වීම අතරමඟ නැවැතුණු අතර ඊට පසුවත් දෙදෙනා දැඩි අසභ්‍ය වචනවලින් එකිනෙකාට බැන ගන්නා අයුරු දක්නට ලැබිණි.ගීතා කුමාරසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමට බෙන්තොට ප්‍රාදේශීය සභා සභාපතිවරයා සහභාගි නොවීමද මෙහි ඇති විශේෂත්වයකි.