Thursday, April 4, 2013

දකුණු - දකුණු සහයෝගිතාව ශක්තිමත් කර ගැනීමේ අභිප‍්‍රායෙන් බර්කිනා ෆාසෝ විදේශ අමාත්‍යවරයා ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා හමුවෙයි


බර්කිනා ෆාසෝහි (Burkina Faso) විදේශ කටයුතු හා කලාපීය සහයෝගීතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය යිපෙනෙ ජිබි‍්‍රල් බස්සෝලෝ (Yipene Djibrill Bassole) මැතිතුමා අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා හමුවිය.
ජාත්‍යන්තර වේදිකාවල දී ශ‍්‍රී ලංකාවට නිරතුරුවම සහයෝගය දීම සම්බන්ධයෙන් බර්කිනා ෆාසෝ රජයට ස්තුතිය පළකළ ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා, අප‍්‍රිකානු රටවල් සමඟ පුළුල් හා ශක්තිමත් ද්විපාර්ශවික සබඳතා පවත්වා ගැනීමට ශ‍්‍රී ලංකාවේ විදේශ ප‍්‍රතිපත්තිය ප‍්‍රමුඛත්වයක් දී ඇති බව පැවසීය.
බර්කිනා ෆාසෝ ජනාධිපති බ්ලයිසේ කොම්පාඕරේ (Blaise Compaore) මැතිතුමාගේ සුබපැතුම් දැනුම්දුන් බස්සෝලෝ මහතා සංවර්ධනය, ස්ථාවරත්වය හා සමගි සන්ධානය ඇති කිරීම සඳහා දරන උත්සාහය සම්බන්ධයෙන් ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමාට ප‍්‍රශංසා කළේය.
දකුණු - දකුණු සහයෝගීතාව ශක්තිමත් කිරීම තම ශ‍්‍රී ලංකා චාරිකාවේ එක් අරමුණක් බව බස්සෝලෝ මහතා පැවසීය.
බර්කිනා ෆාසෝ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටක් වන අතර, "අපි එකමුතු විය යුතුය" යැයි ඒ මහතා පැවසීය.
මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයෙකු වන බර්කිනා ෆාසෝ මෑතක දී ශ‍්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලයට ගෙන ආ යෝජනාවේ දී ඡන්දය දීමෙන් වැළකී ඇති රටවල් අටෙන් එකකි. ශ‍්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව සොයාබලා තම ජනාධිපතිවරයාට හා ජනතාවට දැනුම් දීමේ කාර්යභාරය තමන්ට පැවරී ඇතැයි බස්සෝලෝ මහතා පැවසීය.
තරුණ සංවර්ධනය ඇතුළු අංශ ගණනාවක දෙරට අතර සහයෝගීතාව වැඩි දියුණු කර ගැනීමට බර්කිනා ෆාසෝ රජය උනන්දු වන අතර, ශ‍්‍රී ලංකාව ලබා ඇති සාර්ථක ප‍්‍රතිඵල තුළින් පාඩම් ඉගෙන ගැනීමට අපේක්‍ෂාවෙන් සිටින බව බස්සෝලෝ මහතා පැවසීය.
ශ‍්‍රී ලංකාවේ බර්කිනා ෆාසෝ තානාපති ඉඩ්රිස් රඕවා ඔවේඩ‍්‍රාගෝ (Idriss Raoua Ouedraogo) මහතා කැබිනට් අමාත්‍ය මණ්ඩලයේ අධ්‍යක්‍ෂ සහ බර්කිනා ෆැසෝහි ද්විපාර්ශ්වික සම්බන්ධතා පිළිබඳ අධ්‍යක්‍ෂ ජනරාල් විදේශ කටයුතු හා කලාපීය සහයෝගීතා පිළිබඳ අමාත්‍ය අමඩෝ ඩිකෝ (Amadou Dicko) සහ ඥාමා හෙන්රි බසයි (Gnama Henri Bacye) යන මහත්වරු බර්කිනා ෆැසෝ නියෝජිත පිරිසට අයත් වූහ.
විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අයි. අන්සාර් යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්වූහ.

No comments:

Post a Comment